News Spot

මහනුවර -කොළඹ සුඛෝපභෝගී බස් සේවාවේ ඒකාධිකාරිය බිද දැමීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගනි.

සැප්තැම්බර් 28, 2017

වසර 20ක් පමණ කාලයක් පුරා මහනුවර-කොළඹ සුඛෝපභෝගී බස්රථ සේවාව පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරියක් ලෙස ක්‍රියාත්මක විය. මෙම මාර්ගයේ මගීසේවා අවසරපත්‍ර ලබාදීමේ බලයලත් ආයතනය වන ජාතික ගමනාගමන කොමිෂන් සභාව කිහිප විටක් මෙම බස්රථ සේවාව චක්‍රීය කාලසටහනක් අනුව ධාවනය කරවීමට උත්සහ කළද පුද්ගලයන් කිහිපදෙනෙක් විසින් ඔවුන්ගේ දේශපාලනික හිතවත්කම් බලය පාවිච්චි කර එය ක්‍රියාත්මක කිරීම කඩා කප්පල් කර ඇත. වසර 20 ක් ඇතුලත ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විධිමත් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ එකම මාර්ගය මෙය වේ. මෙම පුද්ගලයින් කිහිපදෙනා මෙම මාර්ගයේ බස්රථ වැඩියෙන් හිමි බස්රථ හිමියන් වන අතර ඔවුන් විසින් බස්රථ එකක් දෙකක් හිමි බස්රථ හිමියන් තලාපෙලා දමමින් දින 30 ම මාර්ගයේ ධාවනය කරමින් සියලු ආදායම රිසි සේ භුක්ති විදි. නමුත් මාසයකට එක දිනක් වත් ධාවනය කර ගැනීමට වේලාවක් නොමැතිව බස්රථ හිමියන් 40 කට ආසන්න පිරිසක් කිසිදු හව්හරනක් නොමැතිව බස්නැවතුම්පළ වල සිටියදී බස්රථ හිමියන් කිහිප දෙනෙක් මෙම මාර්ගයේ ලාභදායීම ධාවන වේලාවන් තමාගේ දේපළක් බවට පත් කර ගෙන ඇත. නමුත් ධාවන වේලාවක් හිමි මගීසේවා අවසරපත්‍ර හිමියන්ගෙන් සහ නිශ්චිත ධාවන වේලාවන් රහිත මගීසේවා අවසරපත්‍ර හිමියන් යන දෙපාර්ශවයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් රු 3000/- ක මගීසේවා අවසර පත්‍ර ගාස්තුවක් අය කරනු ලබයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවට ලැබී ඇති කැබිනට් අනුමැතීන් අනුව සියලුම අන්තර් පළාත් මාර්ග සදහා චක්‍රිය කාලසටහන් සකස් කළ යුතු වේ.

ඒ අනුව මෙවර ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිසි බලය යොදාගනිමින් විධිමත් චක්‍රීය කාල සටහනක් මහනුවර - කොළඹ මාර්ගයට සකස් කර ක්‍රියාත්මක කර ඇති අතර එය මාර්ගයේ බහුතර බස්රථ හිමියන්ගේ පැසසුමට ලක් වී ඇත. මෙවරද මෙම කාලසටහන කඩාකප්පල් කර ඒකාධිකාරී බලය ගොඩනගා ගැනීමට අර කී පුදගලයින් මේ වන විට දේශපාලන සහය ලබාගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කර ඇති චක්‍රීය කාලසටහන නතර කිරිමේ උත්සහයක නියැලේ. මෙම නව කාල සටහන ක්‍රියාත්මක කිරිම පිළිබද බස් හිමියන් දැනුවත් කිරිමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට අද දින (28) කැදවු අවස්ථාවේදි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ. පී. හේමචන්ද්‍ර මහතාට මැරයන් යෙදා ගනිමින් තර්ජනය කර ඇත. නමුත් කුමන බලපෑම් ආවත් මහනුවර - කොළඹ මාර්ගයේ බස් සේවාව සදහා චක්‍රීය කාලසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.



විරාජ් අබේසිංහ
මාධ්‍ය ලේකම්
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය.