Bus Passenger's Rights

පොදු මගී ප්‍රවාහනයේ කේන්ද්‍රය මගියා වන බැවින් පහත අයිතිවාසිකම් ඔබ සතුවන අතර ඔබගේ අයිතිවාසිකම් කඩවීමකදී එයට එරෙහි වීමටත්, ඒ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත පැමිණිලි කිරීමටත් ඔබට අයිතියක් ඇත.


  • බස් රථය ගමන් ආරම්භ කරන ස්ථානය, ගමනාන්තය සහ අදාල සේවාව හඳුනාගැනීමට පහසු ලෙස සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කර තිබිය යුතුය.
  • බස් රථයට නැගි ස්ථානය හා ගමනාන්තය, නියමිත බස් ගාස්තුව, දිනය, බස් රථ අංකය පැහැදිලිව සඳහන් විධිමත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඔබ සතු වේ.
  • බස්රථය නිසි පිරිවිතරයන්ට අනුකූල, ධාවනයට සුදුසු හා පිරිසිදු තත්වයෙන් පැවතිය යුතුය.
  • බස් රථය මෙන්ම එහි ගමන් ගන්නා මගීන්ද ආවරණය වන පරිදි රක්ෂණය කර තිබිය යුතුය.
  • වලංගු රියදුරු බලපත්‍රයක් හිමි, නිසි සෞඛ්‍ය තත්වයකින් පසුවන රියදුරුවරයෙකුගේ සේවය ඔබ වෙත ලැබිය යුතුය.
  • බස් රථය අධික වේගයෙන්, නොසැලකිලිමත් ලෙස හා අනතුරුදායක ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ.
  • බස් රථය වෙනත් බස් රථ සමග තරගයට පදවන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ.
  • බස්රථයේ නලාව දිගටම ශබ්ද කරමින් ධාවනයේ යෙදෙන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතිය ඔබ සතු වේ.
  • බස් රථය තුළ කාන්තාවන්ට සහ ළමුන්ට ආරක්ෂාකාරීව තම ගමනාන්තය වෙත ළගා වීමට හැකි විය යුතුය.
  • විශේෂ අවශ්‍යතා සහිත මගීන්ට (උදා: පූජ්‍ය පක්ෂය, ගැබිණි මව්වරුන්, ආබාධිත තැනැත්තන්) වෙන් කරන ලද ආසන තිබිය යුතුය.
  • නිසි ලියාපදිංචියක් සහිත, නිල ඇඳුමකින් සැරසුණු/ හැදුනුම්පතක් පැළඳි, රියදුරුවරයෙකුගේ හා කොන්දොස්තරවරයෙකුගේ ආචාරශීලී, ප්‍රියමනාප සේවය ඔබ වෙත ලැබිය යුතුය.
  • මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බස් රථ සේවක පිරිසකගේ සේවය ඔබට ලැබිය යුතුය.
  • සාමාන්‍ය සේවා නොවන බස්රථවල අනුමත ආසන ගණන නොඉක්මවන අතර ආසනගත මගීන් පමණක් ප්‍රවාහනය කරනු ලබන සේවාවක් අත්විඳීමට ඔබට හැකි විය යුතු ය.
  • සුඛෝපභෝගී බස් රථයක් නම්, ප්‍රමාණවත් වායු සමීකරණ පහසුකම් අත්විඳීමට ඔබට හැකි විය යුතු ය.
  • දුම්වැටි දුමෙන් තොර බස්රථයක ගමන් කිරීමට ඔබට අයිතියක් ඇත.
  • බස් රථය ධාවනය කරන අතරතුර දී රියදුරු ජංගම දුරකථනය භාවිත කරන්නේ නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත.
  • ගුවන් විදුලි යන්ත්‍රය හැර වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිත නොකරන බස් රථයක ගමන් කිරීමේ අයිතිය ඔබ සතු ය. බස් රථය තුළ ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නම් එකී ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ඩෙසිබල් 80ක් නො ඉක්මවන ලෙස භාවිත කරනු ලබන බස් රථයක ගමන් ගැනීමට ඔබට අයිතියක් ඇත.
  • නිසි අනුමැතියක් නොමැති අතිරේක සවිකිරීම් රහිත බස් රථයක ගමන් කිරීමට ඔබට අයිතිය ඇත.
  • මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි සවිකළ ක්‍රියාකාරී සීනුවක් තිබිය යුතුය.
  • අනුමත කාල සටහන හා අනුමත බස් ගාස්තු සටහන බස් රථයේ ප්‍රදර්ශනය කළ යුතු ය.
  • විශේෂ තත්වයකදී හැර නියමිත වේලාවට ගමන් අරඹා නියමිත වේලාවට ගමනාන්තයට ළගා වීමට ඔබට හැකි විය යුතුය.
  • බස් රථය තුළ යාචකයන් සහ වෙළෙන්දන් නොමැතිව සුවපහසු ලෙස ගමන් කිරීමට හැකි විය යුතුය.
  • අනුමත බස් නැවතුම්පළවලදී පමණක් මගීන් නංවා ගැනීමට/ බස්සවන බවට සහතික විය යුතුය.
  • බස් නැවතුම්පළ ආසන්නයේ මහා මාර්ගය මැද බස් රථය නවත්වා මගීන් නංවා ගැනීම/ බැස්සවීම නොකරන බවට සහතික විය යුතුය.
  • මගීන්ට තම දුක්ගැනවිලි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ක්‍රමවේදයක් බස්රථය තුළ ප්‍රදර්ශනය කළ යුතුය.